දළදා මාළිගාව හා පෝය හේවිසිය❤

  

බුදුරජාණන් වහන්සේගේ වම් දන්ත ධාතූන් වහන්සේ වර්තමානයේ තැන්පත් කර ඇති දළදා මාළිගාවයි.

වර්තමාන දළදා මාළිගාව ශ්‍රී ලංකාවේ මහනුවර නගරයේ Queens හෝටලය අසළ  පිහිටා ඇත. උඩරට රාජ්‍යය සමයේ (1592 සිට 1815) මෙය පිහිටා තිබුණේ එවකට පැවති රාජකීය මාලිගා සංකීර්ණය බව සැළකේ. ශ්‍රී දළදා මාළිගාව මුල්වරට ගොඩනගනු ලැබුයේ පළමුවන විමලධර්මසූරිය(1592-1604) රජතුමා විසිනි. 

එතුමා ඉදිකළ මාලිගාව පෘතුගීසි ආක්‍රමණික‍යෝ විනාශ කළහ. දැනට දක්නට ලැබෙන පැරණි දෙමහල් වැඩසිටින මාලිගාව ඉදිකරනු ලැබ ඇත්තේ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ(1707 - 1739) රජතුමාය. ඉන්පසු රජ පැමිණි නායක්කර් වංශික ද්‍රවිඩ රජවරු පවා ශ්‍රී දළදා මාලිගාව වැඩි දියුණු කොට ආරක්ෂා දළදා මාලිගාව පිහිටා ඇති මහනුවර නගරයම යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත. සියම් නිකායේ මල්වතු හෝ අස්ගිරි යන දෙපාර්ශවයේ ස්වාමීන් වහන්සේලා දිනපතාම දළදා වහන්සේට පූජා සත්කාර කරති.



මෙම පූජාව (තේවාව) දිනකට තුන් වරක් (පාන්දර, දවල් සහ සවස) පවත්වන අතර මෙහිදී බදාදා දිනවල විශේෂ පූජාවක් ලෙස නානුමුර මංගල්‍යය පවත්වයි. මෙහිදී සුවඳ ගැන්වූ ඖෂධීය ජලයෙන් සංකේත වශයෙන් දළදා වහන්සේ ස්නානය කරවනු ලබයි. මෙසේ ස්නානය කරවීමෙන් ලැබෙන ජලයේ රෝග සුව කිරීමේ ආනුභාවයක් පවතින බව බෞද්ධ  විශ්වාසය යි.


පෝය හේවිසිය”..🙏❤️





බාරයක් ඔප්පු කිරිම සඳහා වසරකට වරක් දළදා මාලිගාවේ මෙම හේවිසිය සිදුකරනු ලබයි.

ඒ අනුව දළදා මාලිගාවේ තේවාමුරවලදි අපට  ශබ්ද පුජාවන් රැසක් අපට දැකගත හැකිය.ඒ අතර අලුයම් දූරය, නවපෑ තේවාව, හැන්දෑ දූරය. දෙවෙනි ගිලන්පස පුජාව හා නානුමුර මංගල්‍යය සදහා ද දිනපතා ශබ්ද පුජාවන් විශේෂ වේ.


අලුයම් ධූරය ආරම්භ කරන්නේ අලුයම් තේවා කටයුතු ආරම්භ කිරිමට පෙරයි. වැඩසිටින මාලිගාවේ වත්පිළිවෙත් අවසන්වනතුරු හේවිසි නාද මගුල් බෙර හා ඝන්ඨා නාද වරින් වර පවත්වනවා.

නවපෑ තේවාව හෙවත් දහවල් බුද්ධ පුජාව ආරම්භ විමට පෙර මේ හේවිසි වාදනය කරන අතර හැන්දෑ ධුරය ආරම්භ වන්නේ සවස හය පසුවන විටයි.

එමෙන්ම තවත් විශේෂ ශබ්ද පුජාවක් ලෙස  අවුරුද්දකට එක් වරක් පමණක් පවත්වන හේවිසිය ලෙස පෝය හේවිසිය පෙන්වා දිය හැක. මේ පෝය හේවිසි චාරිත්‍ර ආරම්භ වූයේ රජතුමාගේ නියමයෙන් වන අතර දළදා පෙරහැර ආරම්භ කර, දළදා වහන්සේ වෙනුවෙන් සුවිශේෂි සේවාවක් කරපු කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් තමයි මේ පෝය හේවිසි පුජාව ආරම්භ කළ බව සැළකේ. 

මේ හේවිසිය අරඹන්නේ පෝය දිනයට කලින් දිනයේ දීය. එහි විශේෂත්වය නම් එළිවෙනතුරු මේ හේවිසිය වැයීමයි. මේ සඳහා ශිල්පින් 30කට ආසන්න පිරිසක් පමණ සහභාගී වන බව සඳහන් ය.

එපමණක් නොව රජ සමයේ සිටම මේ සදහා කැපවු පරපුරවල් ලෙස සැළකෙන

  • ඉහළවෙල
  • මොලගොඩ
  • මාලගම්මන 
  • උඩුවෙල 

යන පරම්පරා හතර මෙම පෝය හේවිසිය සඳහා සම්බන්ධ වන අතර එම පිරිස මාරුවෙන් මාරුවට නොනවත්තාම පසු දා පහන්වනතුරු හේවිසි වැයීම සිදුකරයි.මෙම පරපුරවල් වල  වර්තමාන පරපුරවල්  විසින් වර්තමාන පෝය හේවිසිය සිදුකරනු ලබයි. මෙය මාළිගාවේ හේවිසි මණ්ඩපයේ සිට සිදුකරනු ලබයි. 

දළදා මාලිගාවේ පෝය හේවිසි වැයීම  අවුරුදු කිපයකින් කර නැතිමුත් 2023 වර්ෂයේ සිට දුරුතු පෝය දින  එය නැවත පැවත්වීම අරඹා ඇත.

කෙසේ නමුත්  මේ සඳහා නිශ්චිත පෝයක් නොමැති අතර පෙරහරවල් නොමැති නිදහස් පෝයක් මේ සඳහා බොහෝ ලෙස යොදා ගනී. මෙහිදී මෙම පරපුරවල් මෙම පෝය හේවිසිය වයන්නේ දළදා වහන්සේට වෙච්ච බාරයක් ඔප්පු කිරීමේ අරමුණ ඇතිව වන අතර මෙහිදී  නිත්තවෙල, තිත්තපජ්ජල හා අල්ගම යන පරපුරවල්වල අය නැටුම් ද ඉදිරිපත් කරන ලදී.  අතීතයේ සිටම එම පරපුරවල් නියෝජනය කළ දක්ෂ ගුරුන්නාන්සේලාගෙන් පැවත එන වර්තමානය පරපුරවල් විසින්  වර්තමානයේ නැටුම් ඉදිරිපත් කරන අතර සෑම හේවිසි පදයකින්ම වයන්නේ බුදුගුණය වීම ද සුවිශේෂී ය.

ඒ අනුව පෝය හේවිසි කණ්ඩායමේ නායකයා ඊට පෙර තේවාවේ නාහිමිවරු බැහැදැක මේ පෝය හේවිසියට අවසර ලබාගෙන මෙය අරඹන අතර  මෙය තුන්තිස්පැයේ හේවිසිය ලෙසද හඳුන්වනු ලබයි. අෂ්ඨක, සැහැලි, ශ්ලෝක ගායනා කිරීම මෙහි විශේෂත්වයක් වන අතර පසු දා දෙවියන්ට පින් දී පූජා පදය වාදනය කිරිමෙන් පසු පෝය හේවිසි වාදනය නිමා කරනු ලබයි. 



ඡායාරූප: ශ්‍රී දළදා මාලිගාවේ මාධ්‍ය කාර්යාංශය. | 2023




  

No comments

Note: only a member of this blog may post a comment.