ශ්‍රී ලංකාවේ පිත්තල කර්මාන්තය ❤
- පිත්තල කර්මාන්තය මෙසේ ඇරඹුණි.
පිත්තල කර්මාන්තය වූ කලී ලෝහ කර්මාන්තය ආශ්‍රයෙන් ගොඩනැගුණු වෙනත් කර්මාන්තයකි. මානව ශිෂ්ටාචාරයේ වර්ධනයත් සමඟම ලෝහ කර්මාන්තය පහළ විය. ලැබී ඇති සාක්ෂි වලට අනුව, අතීතයේ මිනිසා යම් පමණින් හෝ ලෝහ කර්මාන්තය සම්බන්ධයෙන් දැන සිට තිබේ. අප්‍රිකානු ජනයා තඹ වලින් දක්ෂ ලෙස වැඩ කිරීමට දැන සිටියහ. ලෝකඩ ප්‍රතිමා තනන්නට ඊජිප්තු ජනයෝ දැන සිටියහ. ඉන්දු නිම්නයේ ලෝකඩ හා රිදියෙන් පිළිම තනන ලදී. හොවැන්හෝ මිටියාවතේ තඹ, ඊයම්, ලෝකඩ හා රන් යන ලෝහ වර්ගයන්ගෙන් විසිතුරු භාණ්ඩ හා ප්‍රතිමා තනන ලදී. මේ සියල්ල මානව ශිෂ්ටාචාරයේ ආරම්භයත් සමඟ සිදුවිය.
යකඩ පිළිබඳ දැනුම භාරතයේ ඇති පුරාතන යුගයට අයත්ය. රන්, රිදි, යකඩ, ඊයම්, තඹ සහ බෙලෙක් යන ලෝහ වර්ග ගැන වෛදික සමයෙහි ද දැන සිටියෙන් වෛදික සාහිත්‍යයෙහි සඳහන් වේ. මෙගස්තිනිස් මීට පසු යුගයක දී මේ ලෝහ පැවති බව සඳහන් කරමින් මේ ලෝහ “ ප්‍රයෝජනය සහ අලංකාරය සඳහා වූ භාණ්ඩ මෙන්ම මෙවලම් හා යුද්ධෝපකරණ ද සෑදීම සඳහා භාවිත කරන ලදැයි” යි කියයි. යකඩ සෑදීමෙහි හා එයින් භාණ්ඩ තැනීමේ ද වානේ සෑදීමෙහි හා පණ පෙවීමෙහි ද දක්ෂතාවක් පුරාණ හින්දූන් තුළ පැවති බවට බොහෝ සාක්ෂි තිබේ. සේනාධිපති යූල් විසින් ඔප්පු කරන ලද පරිදි මාර්කෝ පෝලෝගේ චාරිකා විස්තරයෙහි එන ඔන්ඩනික් යන්නෙන් මුලදී අබිමත වුයේ භාරතීය වානේ. ඒ වචනය භාරතීය වානේ යන අර්ථවත් පර්සියානු හුන්ඩවානි යන්නෙහි විකෘතියකි. මේ වචනයම ස්පාඤ්ඤයට පැමිණියේ අල්හින්ඩ් සහ අල්ෆ්රින්ඩ් යන හැඩහුරුකමිනි. මුලදී එහි අර්ථය වූයේ වානේ යනුයි. පසුව වානේ කැඩපත යනු ද අවසාන වශයෙන් වීදුරු කැඩපතක තුනී ලෝහ කොලය යනු ද එහි අර්ථය විය. මාර්කෝ පොලෝ සඳහන් කරන කර්මාන්ත ඔන්ඩනික් යන්නට ඒ නම යෙදුනේ එහි ශ්‍රේෂ්ටත්වය නිසාය. මෙතෙක් ශේෂව පවත්නා ග්‍රීක ග්‍රන්ථ අතර භාරතීය වානේ පණ පෙවීම පිළිබඳ ග්‍රන්ථයක් වේ යයි සැල්මසින්ස් සඳහන් කරයි.
භාරතයේ ශේෂව පවත්නා ස්මාරකයන් අතුරෙන් ඇති ශ්‍රේෂ්ටත්වය හිමි වන්නේ දිල්ලියේ පිහිටි චන්ද්‍රගුප්තයන් ගේ නිර්මිත යකඩ කුළුනටයි. එය ටොන් දහයක් බර වේ. අවුරුදු 1500 ක් පැරණිය. මේ කුළුන සම්බන්ධයෙන් පර්ගියුසන් මෙසේ කියයි. “ යුරෝපයෙහි වුව බොහෝ පසු යුගයක තැනුවා වූ ද මෙකල පවා කලාතුරකින් තනන්නා වුව ද යකඩ කුළුණකට වඩා විශාල යකඩ කුළුණක් තැනිමෙහිලා හින්දුන් තුළ ඒ (පුරාණ ) කාලයේ පැවති දක්ෂ භාවය දැකීමෙන් අප විස්මයට පත් වන්නේ මෙබන්දක් බලාපොරොත්තු නොවූ බැවිනි. . . තුදුස් සියස් වසක් සුළඟට හා වැස්සට මුහුණ දෙමින් පැවති මෙය මලකඩ නොබැඳි පැවැත්ම එපමණම පුදුම සහගතයි ”දුස් සිය වසකට පෙර එය පිහිටුවන ලද කාලයෙහි මෙන්ම එහි කුළුණු හිස හා ලියවිල්ල තවමත් පැහැදිලිවත් මනහරවත් පවතී.
ආනන්ද කුමාරස්වාමි මහතා “ ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ කලාශිල්ප ” යන ග්‍රන්ථයෙන් දක්වන අන්දමට වෛදික යුගයේ ජිවත් වූ ඉන්දීය ජනයා නොයෙකුත් විසිතුරු භාණ්ඩ නිපද වූ බැවින් ලෝහ විද්‍යාව පිළිබඳව ඉන්දීය දැනුම පෘථුල හා ඉතා පැරණි බව කිව හැකිය. අතිවිශිෂ්ට වානේ කැටයම් තාන්ජෝරය දකුණු ඉන්දීය අනෙක් ප්‍රදේශ වල සම්පුර්ණව තිබිණි. නමුත් වර්තමානයේ දී දක්නට නොලැබෙන තත්වයට පත්ව ඇත...
ශ්‍රී ලංකාව තුළ පිත්තල කර්මාන්තය ස්ථාපිත වීම..
විජයාගමනයත් සමඟ ලංකාවේ කලා ශිල්ප පැවතගෙන එනු ලබයි. ඇතැම් ලේඛනවලට අනුව දකුණු ඉන්දියාවෙන් පැමිණි විශ්ව කර්ම නම් ගෝත්‍රිකයන් ලක් ආභාෂය මත උඩරට කලා ශිල්ප කටයුතු ආරම්භ වී ඇත. හින්දු ජනවංශයට අයත් කර්මාන්ත හතරක් එනම්, ඔටුනු පට්ටල, ආභරණ පට්ටල, සිංහාසන පට්ටල හා රන්කරු පට්ටල ද යුද්ධායුධ සෑදීම නාගරික අනෙකුත් කර්මාන්ත ද කොට්ටල් බද්දට අයත් විය. කොට්ටල් බද්දට අයත් කර්මාන්ත විවිධ දිශාවන්හි පිහිට වුව ද මෙම පට්ටල් හතරට අයත් කර්මාන්ත රාජකීය භාණ්ඩ සෑදීම රජවාසල අසල ස්ථානගත කර තිබිණි. ඒ ඒ පට්ටලයට අයත් එක ආචාරි කෙනෙකු බැඟින් වූ අතර මෙම සතරටම මූලිකයා වන්නේ මූලාචාර්යවරයා යි. ඔහු බ්‍රහ්ම පරම්පරාවකට අයත් වුවත් විශ්ව කර්මයාගේ මුඛයෙන් බිහි වූ බැවින් විශ්ව කර්ම තන්ත්‍රිකයන් වන බව ද වේදයේ දක්වා ඇතැයි වෛජයන්ති තන්ත්‍රයේ සඳහන් වේ.
නවන්දණ්ඩ කුලය රන්, රිදී, පිත්තල, යකඩ ආදී කර්මාන්තවල නියැලෙන පාරම්පරික කලා ශිල්පීන්ගෙන් යුක්ත බව ජනවංශයට අනුව පැහැදිළි වේ. උඩරට ප්‍රදේශය තුළ නවන්දණ්ඩ කුලය ඒකරාශි වී සිටින්නේ තලාගම් ආශ්‍රිතවයි. ගම්පොල හා මහනුවර රාජධානි පදනම් කරගෙන රජවාසල හා විහාර දේවාල කටයුතු සඳහා කලාකරුවන් ඒ ආශ්‍රිතව පදිංචි කරවා ඇත. මේ කලා ශිල්පී ගම්මානයන්හි කෘෂිකර්මය ප්‍රධාන ජීවනෝපාය මාර්ගය වුව ද රාජකාරිය වූයේ කලා ශිල්පී කටයුතුය. විහාර ගම්, දේවාල ගම් රජු විසින් පවරන ලද ඒවා අතර ඒවායෙහි නින්ද ගම්වල කලා ශිල්පීහු පදිංචි වූහ. සීමිත ජන කොටසකට ශිල්පීය කටයුතු සීමා වීම නිසා බහුලතාවයෙන් අඩු කර්මාන්තයක් වුව ද පුළුල් හා උසස් වෙළඳපලක් උඩරට කලා ශිල්පීන්ට ඇත. කෙසේවෙතත් මෙලෙස සුළු කර්මාන්ත පරිහානියට පත් වීමත් සමඟ යලි නගා සිටුවීමට පියවර රැසක් ගන්නා ලදී. 1946 දී සීමාසහිත ලංකා එක්සත් කලා ශිල්පීය සංගමය පිහිටුවන ලදී. 1951 දී හස්ත කර්මාන්තයන්ගේ සමූපකාර සමිතිය ගිරාගම දී පිහිටුවන ලදී. මීට අමතරව රජයේ අනුග්‍රහය ලත් ලක්සල වෙළඳ සංවිධානය ද මහනුවර කලා සංගමය ද උඩරට කලා ශිල්ප කටයුතු වලදී අත දෙන ආයතන වේ. මෙසේ කොතෙකුත් ආයතන බිහි වුව ද කර්මාන්තය පරිහානියට යා නොදී රැකගත හැක්කේ කලා ශිල්පීන්ට පමණි. කෙසේ වෙතත් සතර කෝරලය, සත්කෝරළය, මාතලේ, උඩපළාත, සබරගමුවේ ද පැතිර පැවති කලා ශිල්පය පරම්පරාවෙන් පරම්පරාවට රැකගෙන පැවැත එන අයුරු දැක ගත හැකිය. මහනුවර දිස්ත්‍රික්කයට අයත් පාරම්පරික කර්මාන්ත ගම්මාන කිහිපයක් මෙහි දැක්වේ.
කිරිවවුල → පිත්තල වාත්තු
ගඩලාදෙණිය → පිත්තල වාත්තු
දන්තුරේ → පිත්තල කැටයම්
අරත්තන → පිත්තල වාත්තු කැටයම්
උල්දුපිටිය → රිදී පිත්තල
පිත්තල කර්මාන්තයේ විකාශනය...
පොළොන්නරු යුගය
වාස්තු විද්‍යාත්මක මූලාශ්‍ර වලට අනුව 6 වන ශත වර්ෂයේ සිට විකසනය වෙමින් ආ යකඩ හා වානේ කර්මාන්තය 12 වෙනි ශත වර්ෂයේ පොළොන්නරු යුගය වන විට වානේ නිෂ්පාදනය දක්වා ව්‍යාප්ත විය. වානේ හා තඹ වලින් නිර්මාණය කළ, කතුරු, සැත්, අඬු සහ ඉදිකටු ආදී ශල්‍ය උපකරණ සමහරක් පොළොන්නරුවේ ආලාහන පිරිවෙන් තැනීම් වල දී සහ මිහින්තලේ රෝහල් භූමිය ආශ්‍රිත තැනීම් වලින් සොයාගෙන ඇත.
මහාවංශ වාර්තා වලට අනුව මහනුවර යුගයේ සිට ලෝකඩ හා පිත්තල භාණ්ඩ නිෂ්පාදනය විකසනය වූ බව දැක්වේ. පසුකාලීනව ඉන්දියානු වානේ ශිල්ප තාක්ෂණයේ බලපෑම හා ආභාෂය ශ්‍රී ලාංකේය වානේ කරුවන්ට ලැබිණි. පිත්තල භාණ්ඩ සහ වානේ මිශ්‍ර කර්මාන්තවල දී ඉන්දියානු විධි ක්‍රම භාවිතා කර ඇත. දෙවන ලෝක යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමාණය වර්ධනය වීමත් සමඟම පිත්තල භාණ්ඩ නිෂ්පාදනය ද වර්ධනය විය. එයට හේතුව වූයේ පිත්තල සැමරුම් හා තෑගි භාණ්ඩ වලට ලැබුණු ඉහළ ඉල්ලුමයි. එම කාලයේ සැමරුම් ලෙස බහුලව භාවිතා වූ පිත්තල භාණ්ඩ අතර, පිත්තල බන්දේසි, බිත්ති ඵලක, විසිතුරු සත්ත්ව රූප, පාත්‍ර, බඳුන් සහ පෝච්චි ප්‍රධාන විය.
පාරම්පරික ශිල්පීන් සතුව තිබුණු තාක්ෂණ ඥානය හා කලාත්මක ප්‍රවණතාව විශිෂ්ට වූ බව ඔවුන්ගේ නිර්මාණ පිලිබඳ ලැබී ඇති සාක්ෂි වලින් මනාව පැහැදිළි වේ. විශාල විහාර දාගැබ්, වැව්, වාත්තු, වැඩ, මූර්ති, කැටයම්, සිත්තම් මේ ආදී විශාල විහාර හා සුලු පරිමාණ කර්මාන්ත විෂයෙහි පාරම්පරික ශිල්පීන් එකල නිර්මාණ කාර්යයන්ට උචිත වූ තාක්ෂණ විධි යොදාගෙන උසස් නිමාවක් තම නිපැයුම්වලට ලබාදුන් අයුරු ප්‍රත්‍යක්ෂ වේ. මෙම දක්ෂතාව එම ශිල්පීන් හිමිකරගෙන ඇත්තේ පාරම්පරික ශිල්පීය පුහුණුව නිසා පමණක් නොව ශිල්ප ශාස්ත්‍ර හා ඒ සම්බන්ධ විද්‍යාත්මක අධ්‍යාපනයක් ලත් නිසාය. එහෙත් එම තාක්ෂණ ඥානය හා එහි ප්‍රායෝගික භාවිතය එකල භාණ්ඩ හෝ නිෂ්පාදන ජනිත කිරීමට සරිලන සීමිත ආකාරයක් ගත් බව ද නිගමනය කළ හැකිය.
අතීතයේ සීමිත ජන සමාජයකට වෙසෙසින් උසස් යයි සම්මත වූ සමාජයට අවශ්‍ය විශේෂ භාණ්ඩ වර්ග නිපදවා පිළිගැන්වීම දක්ෂ ශිල්පීන්ගේ පරමාර්ථය විය. නමුත් අප රටෙහි වර්තමානයේ එම සමාජ තත්ත්වයටත් ඒ ආකාරයේ සීමිත ඉල්ලුමක්වත් එබඳු ශිල්පී පරපුරක්වත් අපේක්ෂා කළ නොහැකිය. භින්න රුචිකත්වය අනුව මෙහෙයවන ලද සීඝ්‍රයෙන් වැඩි වී යන ජන සමාජයක වාර්ෂිකව වැඩිවන විදේශික ගැනුම්කරු පිරිසකගේ ඉල්ලීම සපුරාලීමට සමත් අත්කම් නිෂ්පාදන ක්‍රමයක් හා එය ක්‍රියාත්මක කිරීමට යුහුසුලු වූ කාර්යක්ෂම ශිල්පි සංවිධානයක් අවශ්‍යව ඇත. මෙම අලුත් අවශ්‍යතා හා වැඩිවන ඉල්ලුම සපුරා ලීමට කැමැති, එහෙත් පිළියෙල වීමක් නොමැති පාරම්පරික ශිල්පීහු අභියෝග කිහිපයකට මුහුණ දීමට දෙනු ලබයි. මූලික බාධාව නම්, කර්මාන්තයක් පවත්වා ගෙන යෑමට අවශ්‍ය දැනුම නොමැතිකමයි. භාණ්ඩ කිහිපයක් තනා මුදල් ලබා ගන්නා ශිල්පීන්ට තොග වශයෙන් භාණ්ඩ දහස් සංඛ්‍යාත ඇණවුම් සැපයීමට හැකියාවක් නොමැතිකම බලපායි. ඒ සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ ලබා ගෙන විවිධ ශිල්පීය හැකියාවන් ඇති කාර්යය සාධක සේවකයන් නොමැතිකම බලපායි. ඒ සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ ලබා ගෙන විවිධ ශිල්පීය හැකියාවන් ඇති කාර්යය සාධක සේවකයන් යොදා කළමනාකරුවන්ගේ උපදෙස් අනුව නිෂ්පාදන වේගය ද ශිඝ්‍රයෙන් වැඩි කර ගැනීම සිදුකර ගත යුතුයි. මේ සඳහා තාක්ෂණ ඥානය අවශ්‍ය වේ.
ලංකාවේ පාරම්පරික අත්කම් කර්මාන්ත පාදක වූ වේවැල්, පන්, උණ බට ආදී ද්‍රව්‍ය වලින් සාදන භාණ්ඩවල ගුණාත්මක අගය හීනවීම නිසා ඒවාට උචිත මිලක් හා මිලදී ගැනීමේ රුචියක් හිමිකර ගැනීම දුෂ්කර වී ඇත. පන් හෝ වේවැල් අමුද්‍රව්‍ය ස්වරූපයෙන්ම යොදා භාණ්ඩ සාදා වෙළඳ පොලට තබා ලබා ගන්නා සුලු මුදලෙන් දුප්පත් ශිල්පි පවුල් සෑහීමට පත් වේ. එහෙත් මනා තාක්ෂණයක් යොදා අවශ්‍ය යාන්ත්‍රීකරණයට භාජනය කොට අමුද්‍රව්‍ය පිරිසිදු කරගත හොත් නිශ්පාදන භාණ්ඩවල මිල වැඩිකර ගැනීම ද, ඉල්ලුම දියුණු කර ගැනීම ද නිතැතින්ම සිදු කර ගත හැකිය .පාරම්පරික ශිල්පයකට යන්ත්‍ර භාවිතය නොගැලපේ යැයි යන දුර්මතය දුරුකොට ඒ මගින් පොදු සේවා පහසුකම් සලසා ශ්‍රම හා අමුද්‍රව්‍ය සැකසීම තුලින් ශිල්පීන්ගේ කර්මාන්ත ප්‍රගතියට මග පාදා ගැනීම ගෝග්‍ය වේ. වාත්තු කැටයම් ආදී ලෝහ කර්මාන්තවලින් නිපදවනු ලබන භාණ්ඩ උසස් ම්ට්ටමකින් පවත්වා ගෙන යෑම සඳහා පාරම්පරික තාක්ෂණ ක්‍රම පමණක් යොදා ගැනීම ප්‍රමාණවත් නොවේ. එම භාණ්ඩවල ගුණාත්මක තත්ත්වය ආරක්ෂා කර ගැනීම අවශ්‍ය වන්නේ අපනයනය කරන භාණ්ඩ ගුණාත්මක පාලනයකට ලක්වන හෙයිනි. ඒ නිසා විද්‍යාත්මක පදනමක් මත ලෝහ වාත්තු හා කැටයම් කර්මාන්ත පවත්වාගෙන යෑම පිණිස පාරම්පරික ශිල්පි පවුල්වල සාමාජිකයන්ට පුහුණුවක් දිය යුතුය.
සැරසිලි හා මෝස්තර...
මහනුවර යුගය වන විට ජනප්‍රියව පැවති සැරසිලි මෝස්තර හා නිර්මාණ :-
- කිඳුරංගනා
- ලියවැල්
- හංස පූට්ටුව
- පහන
- වංගෙඩිය
- ඉර හා සඳ
- පිත්තල වැඩ...
1. පිත්තල තහඩු කැටයම් කර්මාන්තය
මේ සඳහා යොදා ගනු ලබන අමුද්‍රව්‍ය වනුයේ පිත්තල තහඩුය. එම තහඩු රැගෙන තමන් නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන භාණ්ඩයේ ආකෘතිය සකස් කර ගනී. එම ආකෘතියට අනුව තහඩුව කපා ඒ අනුව භාණ්ඩය නිෂ්පාදනය කරනු ලැබේ. එලෙස නිෂ්පාදනය කරන ලද භාණ්ඩයේ කොටස් සම්බන්ධ කරගන්නා ආකාර කිහිපයකි. ඇතැම් භාණ්ඩවල එකට සවි කල යුතු කැබලි දෙක එකට නවා තලා ගැනීමෙන් භාණ්ඩය සකස් කර ගනී. තහඩු කාර්මිකයන් එය රිවට් කිරීම ලෙස හඳුන්වනු ලබයි. එසේම මේ සඳහා උපයෝගී කරගන්නා තවත් ක්‍රමයක් නම් වැල්ඩින් ක්‍රමයයි.
වැල්ඩින් කිරීම සඳහා යොදා ගන්නා පිත්තල ද්‍රව්‍යයන් ඒ සඳහා ඔක්සිජන් වායුව මඟින් ක්‍රියා කරන ලාම්පු උපයෝගී කරගනී. සම්ප්‍රදායික ක්‍රමයට අනුව ඒ සඳහා යොදා ගන්නේ පොල් කටු අඟුරුය. මෙසේ භාණ්ඩ රත් කිරීමෙන් පසුව බවුත් නම් උපකරණය මඟින් පිත්තල කැබැල්ලක් යොදා එකට සම්බන්ධ කරගනී. මෙසේ නිර්මාණය කර ගන්නා භාණ්ඩ දේශීය කැටයම් කලාවට අනුව කැටයම් කර ගනි. ඒවා ලියපොත, ගල් බිංදුව, අන්නාසි මල, හංස පූට්ටුව, සඳකඩ පහන වැනි මෝස්තර වලින් කැටයම් කලාව පිළිබඳ ලෝක ප්‍රසිද්ධියක් මෙම ප්‍රදේශවලට ලැබී ඇත. ඓතිහාසික ඇම්බැක්කේ දේවාලයේ කැටයම් කලාව අප රටේ විශිෂ්ට නිර්මාණ අතුරින් එකකි. කැටයම් කලාවේ ආදී කලා නිර්මාණයන් පිළිබඳව ශ්‍රී ලංකාව දක්වන්නේ අති විශිෂ්ට දක්ෂතාවයකි. එනිසා පිත්තල භාණ්ඩ නිෂ්පාදකයින් කාර්මික ක්ෂේත්‍රයේ මෙන්ම කලා ක්ෂේත්‍රයේ ද දක්වන්නේ ඉතා ලැදිකමක් සහ දක්ෂතාවයකි. මෙලෙස නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ වෙළඳපොලේ සුලභව දක්නට ලැබේ.
2. වාත්තු කර්මාන්තය..
වාත්තු කිරීම කරනුයේ වාත්තු කර්මාන්තයේ දක්ෂ වැඩකරුවන් විසිනි. එමෙන්ම මිටියෙන් තලා භාණ්ඩ නිපදවීම හා කැටයම් කෙටීම වානේ කර්මාන්තයේ නිපුණතාවයෙන් යුත් කැටයම්කරුවන් විසින් කරනු ලැබීය. පිත්තල මඟින් නිර්මාණය කර ගන්නා ලද භාණ්ඩ රැසක් අපට දැකගත හැකි වේ. දොර අඟුල්, සරනේරු, යතුරු කැරලි ආදී කුඩා උපකරණවල සිට බන්දේසි, පහන්, හුණු කිල්ලෝට ආදී භාණ්ඩ දක්වා සෑම භාණ්ඩයකම පාහේ සංකීර්ණ විවිධ හැඩයන් සහ මෝසතර නෙලා ඇත. දුම්කොළ හෙප්පු, බුලත් හෙප්පු ආදිය තඹ සහ රිදියෙන් කැටයම්කර පවතී. බොහෝවිට මෙම භාණ්ඩ කැටයම් කර තිබෙන්නේ සාම්ප්‍රදායික මෝස්තර වලිනි. පිත්තල භාණ්ඩ නිෂ්පාදකයින් බහුලව යොදා ගන්නේ වාත්තු ක්‍රමයයි. වාත්තු ක්‍රමය බහුලව යොදා ගැනීමට හේතු වී ඇත්තේ,
- වාත්තු ක්‍රමය මඟින් සීමා රහිත භාණ්ඩ ප්‍රමාණයක් නිෂ්පාදනය
- වාත්තු භාණ්ඩ සඳහා අධික ඉල්ලුම
- තහඩු කර්මාන්තයට සම්බන්ධ ශිල්පීන් සීමා සහිත වීම
- වාත්තු වැඩපල ශිල්ප ක්‍රම කිහිපයක් තිබෙන බැවින් ඉන් එකකට හෝ යොමු වීමට හැකියාව පැවතිම
- වාත්තු වැඩ සඳහා නවීන උපකරණ යොදා ගැනීමට හැකි වීම...
Post a Comment